Monday, October 31, 2011

තනිකඩ ජීවිතය ගැන අයෝමි ශානිකා කතා කරයි..

තනිකඩ ජීවිතේ කොච්චර නිදහස්‌ද - අයෝමි ශානිකා

ජීවිතේ ලස්‌සනයි හි සුදු නංගි ඇය කොපමණ චරිත රඟපෑවත් ප්‍රේක්‍ෂක මතකයෙන් ගිලිහී නොයන චරිතයක්‌. එසේ රංගන ශිල්පිනියක්‌ ලෙසට ප්‍රේක්‍ෂක මතකයේ රැඳුණු ඇය මේ දිනවල කා අතරත් කතාබහට ලක්‌වන්නේ කෝරළේ මහත්තයා හි ටිකිරි ලෙසටයි. සුන්දර ගමක වෙද පවුලක දියණියක වන ටිකිරිට ජීවය දෙන ඇය අයෝමි ශානිකා ය.

ටිකිරි ආඩම්බරකාර චරිතයක්‌ නේද?

එතනදී ආඩම්බරයි කියන එකට එකඟ නැහැ. ගමේ උගත් වංශවත් වෙද පවුලක දුවෙක්‌ නිසා ගමේ සියලු දෙනා ගැන අවධානයෙන් ඉන්න බුද්ධිමත් සමාජශීලී චරිතයක්‌.

ඔය ගතිගුණ අතරේ අයෝමි කොහොම කෙනෙක්‌ද?

බොහෝ දුරට ටිකිරිගෙ ගතිපැවතුම්වලට සමානයි. මම ආයුර්වේද වෛද්‍යවරියක්‌ නිසා පුදුමාකාර සබැඳියාවක්‌ ටිකිරිත් මාත් අතර තියෙන්නේ. මාව ඇසුරු කරන අයත් කියන්නෙ සුදු නංගි ඔයා චුට්‌ටක්‌වත් ආඩම්බර නැහැ කියලා. ඒ වගේම තමයි අරමුණක්‌ ඔස්‌සේ ගමන් කරන ජීවිතේ බොහොම සුන්දරව විඳින සරල කෙනෙක්‌ හැටියට තමයි මම මාව දකින්නේ.


ගම්බද චරිතයක්‌ රඟන පළමු අවස්‌ථාවද?

ඔව්. ඒ වගේම තමයි මෙතෙක්‌ රඟපාපු චරිතවලින් සුදු නංගි හා සමානව ඉතාමත් ආසා කරන චරිතයක්‌.

ඔබ නිරූපණය කළ ඒකාකාරී චරිත අතරට ටිකිරි වෙනසක්‌ එක්‌කළා කියලා හිතනවද?

අනිවාර්යයෙන්ම. කාලෙක ඉඳලා ආසාවක්‌ තිබුණා වෙනස්‌ කරන්න. නමුත් පෙනුමත් එක්‌ක මෙවැනි චරිතයක්‌ ලැබෙයි ද කියලා කුතුහලයකුත් හිතේ තිබුණා. ඒ අතරේ තමයි මගේ සහෝදර රංගන ශිල්පියා විශ්ව කොඩිකාර කෝරළේ මහත්තයා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ ඔහුගේ පියා පද්මසිරි කොඩිකාරට ටිකිරිගෙ චරිතයට මාව මතක්‌ කරලා තිබුණේ.

ගුවන් විදුලි නාට්‍යයක්‌ ඇසුරින් නිර්මාණය කළ ටෙලි නාට්‍යයක චරිතයක්‌ රඟපාන්න ලැබීම විරල අවස්‌ථාවක්‌ නේද?

එවැනි නිර්මාණ බිහිවෙනව නම් ගොඩක්‌ හොඳයි. හේතුව ඒ තුළ විවිධත්වයක්‌ තියෙනවා. මුවන්පැලැස්‌ස වැනි සිංහල සංස්‌කෘතිය අපේකම, අපේ ඇඟට දැනෙන නිර්මාණයක්‌ වීමත් ඒ අතර විශේෂයි. වසර හතළිස්‌ හයක්‌ පුරාවට අති විශාල ශ්‍රාවක පිරිසක්‌ රස විඳපු නාට්‍යයක හඬ කැවූ ඒ ප්‍රවීණ ශිල්පීන් සමඟම රඟපෑමෙන් මට සම්බන්ධ වෙන්න ලැබීම මගේ ජීවිතේ මම ලබපු ලොකු භාග්‍යයක්‌.

වර්තමානයේ ඔබ නිර්මාණ අතරට පැමිණීමේ අඩුවක්‌ දකිනවා.

පසුගිය කාලේ එවැනි තත්ත්වයක්‌ තිබුණා. දැන් නම් එහෙම නැහැ. ඒකට හේතුව වුණේ මගේ ආයුර්වේද වෛද්‍ය උපාධියේ අවසන් වසරේ විභාග තිබුණේ පසුගිය කාලේ නිසා මුල්තැන දුන්නේ අධ්‍යාපන කටයුතුවලට.

වෛද්‍යවරියක්‌ වීමත් සමඟ රංගනයෙන් සමුගන්න ද බලාපොරොත්තුව?

මගේ ජීවිතේ තියෙන තාක්‌කල් කලාවෙන් ඈත් වෙන්න බැහැ. පුළුවන්තාක්‌ කාලයක්‌ රංගන ශිල්පිනියක්‌ ලෙසටත් නිවේදිකාවක්‌ ලෙසටත් කටයුතු කරනවා.

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

සතුටක්‌ ලැබෙනවා. රංගන ශිලිපිනියක්‌ වීමේ විශේෂ බලාපොරොත්තුවක්‌ නොතිබුණත් වෛද්‍යවරියක්‌ වීමේ අරමුණ සාර්ථක කර ගෙන නිළියක්‌ ලෙසට සමාජයෙන් යම් පිළිගැනීමක්‌ ලබන්න මට හැකිවෙලා තියෙනවා. මගේ ජීවිතේ පැත්තෙන් අද වන විට ආ ගමන සාර්ථකයි.

කෝරළේ මහත්තයා හි පමණද මේ දිනවල නියෑළිලා සිටින්නේ?

සිහින පුරය ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා. තව අලුත්ම නාට්‍ය දෙකක ෂූටින්වලට මේ දිනවල කාලය වෙන් කරලා තියෙන්නේ.

රංගන ශිලිපිනියක්‌ වීම තුළ ජීවිතේ ලද වටිනාකම් මොනවාද?

ලැබුණු වටිනම දේ තමයි ප්‍රේක්‍ෂක ප්‍රතිචාර.

පුංචි තිරයේ පමණ ද දිගටම රැඳෙන්න බලාපොරොත්තුව?

මේ වන තෙක්‌ නම් සිනමාවට එන්න බැරිවුණා. අර්ථවත් පිටපතකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා. වේදිකාවෙ නම් සුදු රෙදි හොරු, මනෝ රම්‍ය ගී වේදිකා නාට්‍යවල රඟපෑවා. වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ගොඩක්‌ ආසයි. කාල වේලාව තමයි ප්‍රශ්නෙ.

අයෝමි දක්‍ෂ රඟපාන්න විතරද?

මට හොඳට පියානෝව වාදනය කරන්න පුළුවන්. පියානෝ සංගීතය පිළිබඳ වෙනමම හැදැරුවා. ඒ වගේම පහතරට හා උඩරට නර්තනයටත් මට හැකියාවක්‌ තියෙනවා.

නිවේදිකාවක්‌ ලෙසට අද තොරතුරු මොනවද?

සියත රූපවාහිනියේ ආයුර්වේදය සම්බන්ධ වැඩසටහන් ඉදිරිපත් කරනවා.

ජීවිතේ ඔබ බලාපොරොත්තු වුණු ඉසව් කරා ද අද ගමන් කරන්නේ?

බොහෝ දුරට ජීවිතේ කියන්නේ හරියට ගංගාවක්‌ වගේ. අරමුණු කරා යද්දී බාධක එනවා. ඒ තැන්වලදී දුක සතුට දෙකම විඳින්න ලැබෙනවා. ඒ දෙකම මම සලකන්නේ අභියෝග ලෙසට. කිසිම දෙයක්‌ ගැන ඕනවට වඩා බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒ වගේම ජීවිතේ ගැන අසුබවාදීව හිතන්නෙත් නැහැ. සරල සුන්දරව තමයි මම මගේ ජීවිතේ දකින්නේ.

දැන් තනිකඩව හිටියා ඇති නේද?

අපෝ මදි. මේ ජීවිතේ කොච්චර නිදහස්‌ද? තාමත් සුදු නංගි වගේ පුංචි ළමයෙක්‌ කියලා තමයි මම මං ගැන හිතන් ඉන්නේ.

සමාජය නිතරම කුතුහලයකින් බලන ක්‍ෂේත්‍රයක අනාගතයේදී වෛද්‍යවරියක්‌ ලෙසට ඔබ නියෑළීම සුදුසු ද?

අපි ප්‍රසිද්ධ නිසා තසයි එහෙම බලන්නේ. ඒ විදිහට කෝණවලින් බලන අයත් ඒවට හසුවෙන අයත් ඕනම ක්‍ෂේත්‍රයක ඉන්නවා. අපි හොඳ නම් තමන්ට තමන් විශ්වාස නම් වෛද්‍යවරියක්‌ රඟපෑමේ නිරතවීම වරදක්‌ ලෙස මම දකින්නේ නැහැ.

No comments:

Post a Comment