Tuesday, November 8, 2011

මට දැන් ටෙලි නාට්‍ය වැඩි වෙලා නටන්න වෙලාවක් නෑ..

ඩාන්සින් අඩුවෙලා ඩ්‍රාමා වැඩි වෙලා

ඇය නර්තනය ඔස්‌සේ තම හැකියාවන් හඳුනා ගනිමින් රංගන ක්‍ෂේත්‍රයට පිවිස, අද වන විට බොහෝ ප්‍රේක්‍ෂක පිරිසකගේ ආදරයට පාත්‍ර වූ නවක රංගන ශිල්පිනියක්‌. නිර්මාණ අතරේ සුලභව දකින්න නොසිටියත් මේ දිනවල ටෙලිනාට්‍ය දෙකක්‌ අතර සැරිසරන නිසාවෙන් නිරෝෂා තලගල බොහෝ දෙනාගේ කතාබහට ලක්‌වී සිටිනවා.

නිරෝෂා මොනවද අලුත් තොරතුරු?

වැස්‌ස නුඹ වගේ සහ ආදර වසන්තයක්‌ ටෙලිනාට්‍ය දෙකම එකවර විකාශය වීම නිසා හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙනවා.



අලුතින් නිර්මාණවලට එකතු වුණේ නැද්ද?

චන්දන හේවාපතිරණගේ කුණු දැමීම තහනම්, රංජිත් රූපසිංහගේ රණමොනරු, සමනල සිහිනයක්‌ ටෙලිනාට්‍යවල රූපගත කිරීම් සමඟ තමයි මේ දවස්‌වල කාලය ගතවෙන්නේ. පසුගිය දිනවල තාරකා සිහිනයක්‌, චන්දන එදිරිසිංහගේ පූජනීයයි උත්පලා ටෙලිනාට්‍යවල රූපගත කිරීම අවසන් කළා.

ඔබ නර්තනයෙන් රංගනයට පැමිණි ශිල්පිනියක්‌?

ඔව්, මම ප්‍රදීපා ආරියවංශ ගුරුතුමිය යටතේ නර්තනය හදාරන මුල් කාලයේදී මගේ පෙම්වතාගේ කැමැත්තක්‌ තිබුණා මාව රංගන ශිල්පිනියක්‌ කරන්න. ඇත්තටම ඔහුගේ උත්සාහය සහ උනන්දුව නොතිබෙන්න මම අද රංගන ශිල්පිනියක්‌ නෙමෙයි. මුලින්ම වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී ඉඳලා පබා ටෙලිනාට්‍යයෙන් තමයි නිළියක්‌ හැටියට පෙනී හිටියේ.

නර්තනවේදිනියක්‌ ලෙස සිට රංගනයට පැමිණීම ක්‍ෂේත්‍රයේ රැඳී සිටීමට පහසුවක්‌ වුණාද?

අනිවාර්යයෙන්ම, මොකද ප්‍රදීපා මිස්‌ තමයි නිරෝෂා තලගල කියන චරිතය සමාජගත කරන්න අවශ්‍ය මූලික පසුබිම සකස්‌ කළේ. ඒ තුළ රංගන ශිල්පිනියක්‌ ලෙසට නැගී සිටින්න අවශ්‍ය පෞරුෂය ගොඩනැඟුණා.

රංගනයට පැමිණීම ගැන අද සතුටුද?

මුල් කාලෙදි අසේලගෙ කැමැත්තට රඟපෑවේ. කාලයක්‌ ගෙවිලා ගිහින් තියෙන නිසා දැන් නම් මම දෙයක්‌ කරලා තියෙනවා නේ කියලා සතුටු වෙනවා. අනික නර්තනය, රංගනය හැරුණු කොට කලාවෙම තව ඉසව් කීපයක රැඳී සිටින නිසා තවත් සතුටුයි.

මොනවද ඒ ඉසව්?

යූ. ඩාන්සින් ඇකඩමි නමින් නර්තන පාසලකුත් යූ. සැලුන් නමින් රූපලාවන්‍යාගාරයකුත් පවත්වාගෙන යනවා.

දැන් නර්තනය හදාරලා ඉවරද?

නැහැ. අදටත් ප්‍රදීපා ආරියවංශ නර්තන කණ්‌ඩායමේ ප්‍රධාන සාමාජිකාවක්‌. මට මේ දවස්‌වල නම් ඩාන්සින් අඩුවෙලා ඩ්‍රාමා පැත්ත වැඩිවෙලා තියෙනවා.

වර්තමාන ක්‍ෂේත්‍රයේ තිබෙන තරගකාරිත්වය හමුවේ ඔබට කියා යමක්‌ ගොඩනගා ගැනීමට හැකිද?

මාත් සමඟ ආ සමහර අය ක්‍ෂේත්‍රයේ නැති වුණත් මම කරපු චරිතත් එක්‌ක නිරෝෂා තලගල කියන චරිතය නවක ශිල්පීන් අතරේ යම් මට්‌ටමකට ඇවිත් තියෙනවා කියලා හිතෙනවා. කලාවට තියෙන ආදරය අනෙක්‌ අය අතර තියෙන සහයෝගය, දක්‍ෂතාව තියෙනව නම් හැම දේම සමබරව කරගෙන යන්න පුළුවන්.

ඔබට ලැබෙන බොහොමයක්‌ චරිත රළුයි. ඒ ඔබේ ස්‌වරූපය නිසාද?

චරිත අතර කොටුවීමක්‌ නම් මම දකින්නෙ නැහැ. පිටින් පේන ස්‌වරූපයට ගැලපෙන නිසා වෙන්න ඇති බොහෝ විට රළු චරිත ලැබෙන්නේ. ඒ වගේම තමයි මට දෙයක්‌ කරන්න පුළුවන් නම් ඒක ලොකුද පොඩිද කියලා නැහැ මම ඒක කරනවා. නමුත් මම සැබෑ ස්‌වරූපයෙන් නම් බොහොම සැහැල්ලු හැම තිස්‌සෙම හිනාවෙලා ඉන්න චරිතයක්‌.

ඔබ සතු අත්දැකීම් අනුව, දක්‍ෂතාව තිබූ පමණින්ම හැදෑරීමක්‌ නොමැතිව යම් ක්‍ෂේත්‍රයක නිරත විය හැකිද?

හැදෑරීමක්‌ අවශ්‍යයි. නමුත් හැදෑරීමක්‌ කළ පමණින් යම් විෂය සමගාමීව කටයුතු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. ඒ වගේම ඕනෑම කෙනකු සතුව සහජ දක්‍ෂතාවකුත් තිබිය යුතුමයි.

සිනමාවට වේදිකාවට පිවිසෙන්න බලාපොරොත්තුවක්‌ නැද්ද?

බන්දුල විතානගේගේ රාත්‍රි භෝජනය, ගාමිණී එස්‌. බණ්‌ඩාරගේ නිකරුණේ ගැවසීම තහනම් වේදිකා නාට්‍ය දෙකේ රඟපෑවා. රොහාන් වැලිවිටියගේ සුසීමා ඇතුළුව තවත් චිත්‍රපටයකට දායක වී තිබෙනවා.

ඔබ අද කලාකාරිනියක්‌ නොවුණා නම්?

පුංචි කාලේ ඉඳලා තිබුණු හීනේ තමයි නර්තන ගුරුවරියක්‌ වීම. ඒක දැන් සැබෑ වෙලා තියෙනවා. එතනින් එහාට වෙන හීනයක්‌ තිබුණේ නැහැ.

ඔබ දැන් නිරූපිකාවක්‌ නොවෙයිද?

මම කොහොමටත් බ්‍රයිඩල් ෂෝවලට විතරයි සම්බන්ධ වුණේ. ඉදිරියේදීත් අවස්‌ථාව ලැබෙන විදිහට ඒවට සම්බන්ධ වෙනවා.

පෙම්වතාගේ කැමැත්තට රංගනයට පිවිසි ඔයා අද ඔහුගේම බිරිඳ?

අසේල මගේ සැමියා තුළ මං ගැන තියෙන විශ්වාසය තමයි මාව මේ තරම් ශක්‌තිමත්ව ගොඩනැඟුණේ. මේ දිනවල ඔහු විදේශගතව සිටින නිසා මගේ අම්මයි තාත්තයි එක්‌ක තමයි ඉන්නේ. අසේලගෙ දෙමව්පියන් තුළත් මං ගැන හොඳ තේරුම් ගැනීමක්‌ තියෙනවා.

No comments:

Post a Comment