Sunday, March 4, 2012

කවුරුහරි මගේ දිහා හැරිලා බලනවට මම කැමතියි..

සම්පූර්ණ නම - රුවන්ගි රත්නායක
ගම - කුරුණෑගල
උපන් දිනය - 1988.11.08
පාසල - කුරුණෑගල ශු. පවුලේ කන්‍යාරාමය
පවුලේ විස්‌තර - අම්මයි, අයියයි, අක්‌කලා දෙන්නයි.


අහසින් වැටුණා ටෙලි සිත්තමේ නෙහාරා, ස්‌වර්ණවාහිනියේ good Afternoon සහ Wedding වැඩසටහන් වල නිවේදිකාවක්‌ ලෙසින් මේ දිනවල පුංචි තිරයේ අපට අලුත් මුහුණක්‌ දකින්න ලැබෙනවා. සැබෑවටම ඇය කවුද?.


රුවන්ගනී රුවන්ගි වුණේ ඇයි ?

ගොඩක්‌ අය මාව දන්නේ රුවන්ගි කිව්වහම. නමුත් ඇත්ත නම රුවන්ගනී රත්නායක. වැඩසටහන්වලදී, ටෙලිනාට්‍ය වලදී කට්‌ටිය මට කියන්නේ රුවන්ගි කියලා. ඉතිං මට හිතුණා රුවන්ගි කියලා භාවිතා කළොත් හොඳයි කියලා.

රුවන්ගි නිළියක්‌ද? නිරූපිකාවක්‌ද?
නිරූපණ ක්‍ෂේත්‍රයේ තමයි මුලින්ම හිටියේ. දැන්නම් වැඩිපුර දායක වෙන්නේ රංගනයට.
නිළියක්‌ වුණේ කොහොමද? 

මුලින්ම රූපවාහිනියේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. ඊට පසුව වෙළෙඳ දැන්වීම් ගණනාවකටම දායක වෙන්න ලැබුණා. ඒ හරහා තවත් ටෙලිනාට්‍ය රැසකට ආරාධනා ලැබුණා.

අහසින් වැටුණා හි නෙහාරා ජීවිතයේ ලොකු වෙනසක්‌ කළා නේද?

ඒක ඇත්ත. අහසින් වැටුණා ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් මම තවත් ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා හිටියා. නමුත් ප්‍රධාන චරිතයක්‌ රඟපාන්න ලැබුණේ අහසින් වැටුණා ටෙලිනාට්‍යයේ. දැනට ලොකු වෙනසක්‌ ඒ හරහා සිද්ධ වුණා කියලා මට දැනෙනවා. මොකද ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. අනික ඒ අධ්‍යක්‍ෂවරයා සමග වැඩකරද්දී අත්දැකීම් රැසක්‌ ලැබුණා.

රුවන්ගි මේ ක්‍ෂේත්‍රයට අහසින් වැටුණා කිව්වොත් ?

එහෙම කියන්න බැහැ. මම එකපාරටම මේ ක්‍ෂේත්‍රයට ආපු කෙනෙක්‌ නෙමෙයි. පියවරෙන් පියවර තමයි මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

දැන්නම් මේ ක්‍ෂේත්‍රයට අහසින් වැටුණු පිරිස්‌ වැඩියි නේද ?

එහෙමත් කියන්න පුළුවන්. ගොඩක්‌ වෙලාවට අපි දකිනවා දවසින් දවස අලුත් මුහුණු මේ ක්‍ෂේත්‍රයට එනවා. ඉතිං ඒකේ වැරැද්දකුත් නැහැනේ.

නිරූපිකාවෝ නිළියෝ වෙන එක දැන් හරියට පැෂන් එකක්‌ වගෙයි ?

තරුණ පිරිස්‌ ගොඩක්‌ කැමැතියි මේ ක්‍ෂේත්‍රයේ වැඩකරන්න. රූපවාහිනියේ, පුවත්පත් මගින් දකින දේවල් නිසා තරුණ තරුණියෝ හිතනවා ඇති මේ ක්‍ෂේත්‍රය හරිම සුන්දරයි කියලා. ඒ නිසා තාරුණ්‍යයේ හැමෝම මෙතැනට එන්න ඇල්මක්‌ දක්‌වනවා.

කලාවට එන්න ලැබුණ මුල්ම අවස්‌ථාවෙන් ඔබ ප්‍රයෝජනයක්‌ ගත්තා කියලා හිතනවාද?

මම මුලින්ම රූපවාහිනියේ අවුරුදු කුමරිය වැඩසටහනට තමයි සම්බන්ධ වුණේ. ඒ හරහා මට ලැබුණ හැම අවස්‌ථාවක්‌ම මම ප්‍රයෝජනයට ගත්තා. මුලින්ම රූපවාහිනියත් සමග එකතුවෙලා තමයි වැඩකරන්න සිද්ධ වුණේ.

දැන් ස්‌ථාවරයි කියලාද හිතන්නේ ?

මම හිතනවා මේ ක්‍ෂේත්‍රයේ මට දිගු ගමනක්‌ යන්න පුළුවන් වෙයි කියලා. මේ හිටපු අවුරුදු එකහමාරක කාලය තුළ ගොඩක්‌ දේවල් කරලා තියෙනවා. දැනටම ටෙලිනාට්‍ය පහක්‌ හා වෙළෙඳ දැන්වීම් පහළොවක විතර වැඩකරලා තියෙනවා. චිත්‍රපටයකටත් දායක වුණා.

පුංචි කාලේ හීන දැක්‌කේ කවුරු වෙන්නද ?

නිළියක්‌ වෙන්න නම් හීනයක්‌ තිබුණේ නැහැ. නිවේදිකාවක්‌ වෙන්න තමයි හීන මැව්වේ. ඊට අමතරව රූපලාවන්‍ය ශිල්පිනියක්‌ වෙන්නත් ආසාවක්‌ තිබුණා.

එතකොට නිළියක්‌ වුණේ ?

නිළියක්‌ වුණේ නම් හිතපු නැති විදිහට. උසස්‌ පෙළ හදාරල ගෙදර ඉන්න කාලේ රූපවාහිනි අවුරුදු කුමරිය වැඩසටහනට ඉදිරිපත් වුණා. එතැනදී ගොඩක්‌ අය ආශ්‍රය කරන්න ලැබුණා. ඒ දේවල් නිසා තමයි මේ ක්‍ෂේත්‍රයට එන්න ආසා හිතුණේ.

ඒ කියන්නේ ඔබට ජීවිතයේ අරමුණක්‌ තිබිලා නැහැ වගෙයි ?

අරමුණක්‌ තිබුණේ රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඊට අමතරව නිවේදිකාවක්‌ වෙන්නත් ආසාවක්‌ තිබුණා.

ගමේ ඉඳන් කොළඹ ආපු ජීවිතය ගැන මොකද හිතෙන්නේ ?

මගේ අක්‌කා ඉන්නවා කොළඹ. ඒ නිසා මට කොළඹ නුහුරු ගතියක්‌ දැනුනේ නැහැ.

නිළියකගේ හැදියාවට ඇඳුම බලපාන්නේ නැතිද?

හැදියාවට ඇඳුම පැළඳුම බලපානවා කියලා දෙයක්‌ නැහැ. රඟපෑමේදී අඳින්න තිබෙන ඇඳුම් අඳින්න සිදුවෙනවා. එතැනදී අපිට ටිකක්‌ හරි අසංවර ඇඳුමක්‌ ඇන්දොත් අපේ චරිතයට ලොකුවට හානියක්‌ වෙනවා කියලා කියන්න බැහැ. මොකද අපි එතැනදී නිරූපණය කරන්නේ චරිතය.

රංගනයේදී ඔබත් ඕනෑම ඇඳුමක්‌ අඳින්න සූදානම්ද?

එහෙම සූදානමක්‌ නැහැ.

ඔබ අඳින්නෙ පළඳින්නේ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්නද?

ඇත්තටම ඔව්. මගෙ දිහා කවුරු හරි පාරක්‌ හැරිලා බලනවා නම් මම ඒකට කැමැතියි. මම එහෙම අඳින්න උත්සාහ කරනවා.

දැන් ඉතිං වැඩිපුර ආකර්ෂණය වුණ තරුණයෙක්‌ එහෙමත් ඇති නේද?

විශේෂ කෙනෙක්‌ තවම නැහැ.

එහෙම යෝජනා එනවා ඇතිනේ?

යෝජනා නම් දෙකතුනක්‌ ආවා. මම කැමැති වුණේ නැහැ.

1 comment:

  1. මුල අමතක කට්‌ටියගෙ ගමන නම් කෙටියි නගෝ....

    ReplyDelete