Monday, June 25, 2012

පුෂ්පිකා ගැන බිඳක්..


ලෝක රූ රැජින තරගයට බිකිනි ඇඳීම
නීති විරෝධී දෙයක් නොවෙයි
පුෂ්පිකා සඳමාලි



ඉතිහාස කතා වැඩි වශයෙන් සිනමාවට නැගෙන යුගයක්‌ විදිහට මේ කාලවකවානුව හඳුන්වන්න පුළුවන්. පසුගිය කාලයේ එවැනි සිනමා නිර්මාණයක්‌ කළ අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහට සනත් අබේසේකරයන්ව හඳුන්වන්න පුළුවන්. මහින්දාගමනය නිර්මාණය කළ සනත්ගේ අලුත්ම සෙලිලොයිඩ් නිර්මාණය තමයි සිරි දළදාගමනය. සිරි දළදාගමනය සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පසුගිය මාර්තු මාසයේ තමයි පැවැත්වුණේ.
එදා පැවැති මුහුරත් උළෙලට මෙහි ප්‍රධාන භූමිකාව වන දන්ත කුමරුගේ චරිතය නිරූපණය කරන රංගන ශිල්පියා පෙනෙන්න හිටියේ නැහැ. ආරංචිය හැටියට නම් මෙහි ප්‍රධාන භූමිකාවට ඕනෑ නළුවා ඒ වන විටත් තෝරාගෙන නැහැ කියලයි කියන්නේ. නමුත් හේමමාලා කුමරියගේ චරිතයට පණපොවන්න තෝරාගත් නිළිය එදා මුහුරත් උළෙලට ඇවිත් හිටියා. ඇය 2011 වසරේ දෙරණ මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් පුෂ්පිකා සඳමාලි. ඇය එදා මාධ්‍යවේදීන් වගේම පැමිණ සිටි පිරිස අමතා කීවේ ලෝක රූ රැජින තරගයට ගිය තමා පළමුවෙන්ම සිනමාවට පිවිසෙන්නේ මේ දැවැන්ත බෞද්ධ සිනමා නිර්මාණයේ හේමමාලා කුමරියගේ චරිතය හරහා බවය.

මේ වෙනකොට හේමමාලා කුමරිය වෙනස්‌ වී ඇතැයි කියලා අපට දැනගන්න ලැබුණා. 2011 රූ රුජින වූ පුෂ්පිකාව ඉන් ඉවත් කොට ගුවන් සේවිකාවක්‌ වන ප්‍රසාදි සමරකෝන් මේ සඳහා තෝරාගෙන ඇති බව. ඇත්තටම පුෂ්පිකාව සිරි දළදාගමනය නිර්මාණයේ හේමමාලා කුමාරියගේ චරිතයෙන් ඉවත් කරන්න හේතුව මොකක්‌ද? අන්තර්ජාලයේ නම් මේ ගැන විවිධ කතා පැතිරයනවා. ඇත්ත කතාව දැනගන්න අපි පුෂ්පිකාට කතාකළා.

ඔබව සිරි දළදාගමනය නිර්මාණයෙන් ඉවත් කරන්න හේතුව මොකක්‌ද?

මට කිසියම් චිත්‍රපටයකට ආරාධනාවක්‌ ලැබුණා ඒ චිත්‍රපටයේ මුහුරත් උළෙල පවත්වන්න දවස්‌ දෙක තුනකට කලින්. ඒ ආරාධනාව ලැබෙනවාත් සමගමයි මගේ අතට පිටපත ලැබුණේ. මට ලැබිච්ච පිටපත කියවලා බලලා ඔවුන්ට උත්තරයක්‌ දෙන්න කාලයක්‌ තිබුණේ නැහැ. ඒ කොහොම වුණත් මම උත්තරයක්‌ දෙන්න කලින් ඔවුන් මාව මේ සඳහා තෝරාගත්තා කියලා මාධ්‍යයට දන්වලා තිබුණා.

අනික ලබන අවුරුද්දේ වෙසක්‌ මාසයේදී මෙය එළිදක්‌වන්න ඕනෑ කියලත් ඔවුන් මට පවසා සිටියා. කොහොම වුණත් බෞද්ධ කටයුත්තක්‌ නිසා මම දායකවෙන්න තීරණය කළා. ඒ නිසා පිටපත ලැබිලා දවස්‌ තුනකින් විතර මුහුරත් උළෙලට සහභාගි වුණා. ඊට පසුව පෙර පුහුණුවීම්වලටත් ගියා. අන්තිමේ නොයෙකුත් ප්‍රශ්න එන්න පටන්ගත්තා.

ඒ මොනවද?

විවිධ පුද්ගලයන්ගෙන් මගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබෙන්න පටන්ගත්තා. එම දුරකථන ඇමතුම් ආවේ කාගෙන්ද කියන්න දන්නේ නැහැ. මීට අදාළ පුද්ගලයන් කිව්වෙත් ලියුම් ඇවිල්ලා තියෙනවා, දුරකථන ඇමතුම් එනවා ඒක නිසා අපි ඔයාව ඉවත් කළා කියලා. කිසියම් ස්‌වාමින්වහන්සේ නමකගේ දැඩි විරුද්ධත්වය මත මාව චිත්‍රපටයෙන් ඉවත් කළා කියල විතරයි මම දන්නේ. මේ සඳහා වෙනත් තරුණියන් දෙදෙනෙක්‌ ඉදිරිපත් කරලා තියෙනවා කියලා අදාළ සමාගමේ පුද්ගලයෙක්‌ මට පැවසුවා.

ඔබව ඉවත් කළේ කවුද කියලා දන්නේ නැතිද?

එම ආයතනයේ යම්කිසි පුද්ගලයෙක්‌ මාව අයින්කරන්න ලියුම් හදලා. ඒ වගේම අන්තර්ජාලයට බොරු පුවත් මවලා මේ වැඩේ කළේ කියලා අන්තිමේ දැනගත්තා. චිත්‍රපටයට අදාල විශේෂ පුද්ගලයෙක්‌ට මාව අයින් කරන්න ලොකු වුවමනාවක්‌ තිබුණා.

ඔබට මොකද මේ ගැන කියන්න තියෙන්නේ ?

2011 දෙරණ මිස්‌ ශ්‍රී ලංකා වුණ මම මිස්‌ වර්ල්ඩ් තරගයෙන් මගේ රට නියෝජනය කළ තානාපතිවරියක්‌. ඒ හින්දා මට තිබෙන්නේ වෙනත් ස්‌වරූපයක්‌. ඇත්තටම රඟපාන්න වුවමනාවක්‌ මට නැහැ. එම ආයතනයේ යම්කිසි පුද්ගලයෙක්‌ මට පිටපතදීලා මම උත්තරයක්‌ දෙන්න කලින් ඔවුන් මාධ්‍යයට මාව තෝරාගත්තා කියලා තිබුණ නිසයි මට මේ සඳහා එකඟවෙන්න සිදුවුණේ. මුහුරත් උළෙලකට ගෙන්වලා ගිවිසුම් අත්සන් කරලා පත්තරවලට මාව මේ චරිතයට ගත්තා කියලා ප්‍රකාශ කරලා අන්තිමේ මාව අයින් කළා කියන්නේ මට කරපු ලොකු අසාධාරණයක්‌. ඔවුන්ට තිබුණා මුහුරත් උළෙල පවත්වන්න කලින් මා ගන්නවද නැද්ද කියලා තීරණයක්‌ ගන්න. මේක මගේ වැරැද්දක්‌ නෙමෙයි.

අඩනිරුවත් ඡායාරූපවල පෙනී සිටිය නිසා
ඔබව ඉවත්කළා කියලත් කතාවක්‌ තිබෙනවා ?

මම බිකිනි එකක්‌ ඇඳලා ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වීමත් මේ ඉවත් කිරීමට එක්‌ හේතුවක්‌ වුණා. මම 2011 ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වුණේ ලංකාවේ නීතියට පටහැනිව නොවෙයි. මම බිකිනි එක ඇඳ ඉදිරිපත් වුණේ මගේ රට නියෝජනය කරන්න. ලංකාවේ නීතියෙන් එලෙස ඉදිරිපත්වෙන්න අවසර දීලයි තියෙන්නේ. ඒ වගේම මේ තරගයේ එම ඉදිරිපත් කිරීම අනිවාර්ය අංගයක්‌. ඒ නිසා එම ආයතනය මුහුරත් උළෙලට කලින් මාව මේ සඳහා යොදාගන්නවද නැද්ද කියලා හිතන්න තිබුණා.

ඔබ අත්සන් කළ ගිවිසුමට මොකද වෙන්නේ
එහි නීතිමය ස්‌වභාවයක්‌ තියෙනවානේ ?

ගිවිසුමේ සඳහන් වන්නේ ශාරීරික හෝ මානසික හේතුවක්‌ මත අධ්‍යක්‍ෂවරයාට මේ චරිතයෙන් මාව අයින් කරන්න පුළුවන් කියලා. නමුත් ඒ දෙකටම සම්බන්ධ නැති හේතුවක්‌ මතයි මාව ඉවත් කළේ. ඒ නිසා මට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

මේ සඳහා ඔබට විශේෂ ගෙවීමක්‌ සිදුකළාද?

තවම වන්දි මුදලක්‌ ගෙවලා නැහැ. ඉදිරියට ඒ සම්බන්ධව මම ක්‍රියාමාර්ගයක්‌ ගන්නවා. මේක තමයි ඇත්තම කතාව.

No comments:

Post a Comment