Saturday, March 15, 2014

මම කලහකාරි කෙනෙක් නෙවෙයි - මහේෂි

පුංචි තිරයේ මුතු වරුසාවෙන් ටෙලි අඹරට පෑයූ තාරකාවිය ඇයයි. බොහොම අඩු නිර්මාණ සංඛ්‍යාවකට දායක වී ඇතත් ඇගේ රඟපෑම් සහ ඇගේ රුව නම් දහස්‌ සංඛ්‍යාත රසික පිරිසකගේ හදවත්වල ලැගුම් ගෙන හමාරය. ඇය මහේෂි මධුසංකාය. මේ ඇයත් සමඟ කෙරුණු සුහද කතාබහයි.

මොනවද මේ දවස්‌වල ඔබගේ තොරතුරු?


අලුතින් නිර්මාණවලට සම්බන්ධ වෙලා නැහැ. විකාශය වෙමින් තිබෙන ඡායා සහ මුතු පලස ටෙලි නාට්‍යවල රූ ගත කිරීම්වලට සහභාගි වෙනවා.



ඔබ ටෙලි නාට්‍ය රඟපෑම් සඳහා ක්‍ෂේත්‍රයට පැමිණියේ කෙසේද?

එය අහඹු සිදුවීමක්‌. මගේ ඡායාරූප කිහිපයක්‌ දැක ලක්‍ෂ්මන් පුෂ්පකුමාර සහ සහෝදර නළු අමිල අබේසේකර, ඔවුන්ගේ "මුතු වරුසා" ටෙලි නාට්‍යයට තෝරා ගත්තා. එහි මම රඟපාන්නෙත් අමිල අබේසේකරත් සමඟයි. එය තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. ඇත්තටම ඔවුන් දෙදෙනා නිසා තමයි මම මේ ක්‍ෂේත්‍රයට යොමු වුණේ. ඊට මගේ හෘදයාංගම ස්‌තුතිය අදටත් මම ඔවුන්ට පිරිනමනවා.


වේදිකාවට සහ සිනමාවට කැමැත්තක්‌ නැද්ද?


කැමැතියි. සිනමාවේ මගේ පළමු චිත්‍රපටය "ජීවිතය ලස්‌සනයි". ඉදිරියේදී රෝයි ද සිල්වා මහතා සහ සුමනා අමරසේන මහත්මියගේ "සිහින ලොවක්‌" චිත්‍රපටයේ රඟපෑම් සඳහා එක්‌වෙනවා.


දැනට රඟපා ඇති නාට්‍ය ගණන සහ එම නාට්‍ය වල අහිංසක චරිතම විතරද රඟපාන්නේ?


දැනට ටෙලි නාට්‍ය 7 ක මම රඟපාලා තියෙනවා. එම චරිත වැඩිහරියක්‌ අහිංසකයි තමයි. නමුත් "මුතු පලස" නාට්‍යයේ මගේ චරිතය අහිංසක හොඳ චරිතයක්‌ නොවෙයි.

ටෙලි නාට්‍යවල අහිංසක චරිත රඟපෑවත් සැබෑ ජීවිතයේදී නම් එලෙස නොවෙයි වගේ නේද?


අනේ නැහැ. මම ඇත්තටම කාටවත් කරදරයක්‌ නැතිව ජීවත් වන අහිංසක කෙනෙක්‌ තමයි.


මියුසික්‌ වීඩියෝ ගැන අදහස කුමක්‌ද?


ලස්‌සනට, ගීතයට ඔබින විදිහට බලන කෙනාට එහි හැඟීම් දැනෙන ලෙස කෙරෙනවා නම් ඇත්තටම හොඳයි. ගීතයත් සමඟ රූප රාමු රස විඳින්නට පුළුවන්. එවැනි ගීත 3 කට මමත් රංගනයෙන් එක්‌වෙලා තියෙනවා.


ක්‍ෂේත්‍රයේ සහෝදර නළු නිළියන් ඔබට අභියෝගයක්‌ද?


ඔව්, ඇත්තටම අභියෝගයක්‌ තමයි.


ඒ අයත් සමඟ ඔබ ප්‍රශ්න ඇතිකර ගත්තා කියලා පහුගිය කාලයේ ආරංචි වුණා. එය ඇත්තක්‌ද?


කොහෙත්ම නැහැ. මට මේ ක්‍ෂේත්‍රයේ කිසිම කෙනෙක්‌ සමඟ ප්‍රශ්නයකුත් නැහැ. තරහකුත් නැහැ. මගේ රඟපෑම් ගැන සහ මා සමඟ පෞද්ගලික ඊර්යාවක්‌ ඇති නිසා වෙන්න ඇති ඔය විදිහට බොරු ප්‍රචාරයක්‌ යවන්න ඇත්තේ. මෙහිදී මම නිහඬයි. තමාගේ හෘද සාක්‍ෂියට අනුව තමයි, සෑම දෙයක්‌ම කළ යුතු වන්නේ.


පාසල් කාලය සහ රඟපෑමට කැමැත්තක්‌ ඒ කාලයේ සිටම තිබුණාද?


මම පාසල් තුනකින් අධ්‍යාපනය ලැබුවා. අනුරාධපුර ස්‌වර්ණපාලි බාලිකා විද්‍යාලය සහ නුවර හේමමාලි බාලිකා මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා උසස්‌ අධ්‍යාපනය සඳහා ඕමාන් වල ඡදකහටකදඑ වෙත ගියා. පාසල් කාලයේ සිටම මම නර්තනයට ආශා කළා. ඉගෙන ගත්තා, රඟපෑමටත් ආශාවක්‌ හිතේ තිබුණා.


ඔබේ රඟපෑම් ගැන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සහ සහෝදර නළු නිළියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රවීණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. ඔවුන්ගේ ආශිර්වාදය මට ගොඩක්‌ වටිනවා. ඒ අතරින් මාලනි ෆොන්සේකා මහත්මියගේ පැසසුම් මම නිහතමානීව විඳිනවා. සහෝදර නිළියන් අතරේ මට, හිමාලි සිරිවර්ධන සහ ඕෂදී හේවාමද්දුම වැනි අය අවංකව ඇගයීම් කළා.

රසිකයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කෙසේද?


ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් මට ආදරෙයි "මුතු වරුසා" නාට්‍යයේ තාරකාගේ චරිතය තමයි සෑම දෙනාගේම මතකයේ තිබෙන්නේ.


ඔබේ පවුලේ තොරතුරු මොනවාද?


මගේ පවුලේ ඉන්නේ මම විතරයි. තාත්තා සිටින්නේ විදෙස්‌ ගතවයි. අම්මා තමයි මගේ සෑම කටයුත්තකදීම මගේ උදව්වටත් තනියටත් සිටින්නේ. අම්මාගේ සහය මට මේ ගමන යන්න ගොඩක්‌ වැදගත්.


ඉදිරියේදී ඔබව ප්‍රේක්‍ෂකයන්ට දැකගන්න ලැබෙන්නේ කුමන නිර්මාණයකින්ද?


මගේ දෙවැනි චිත්‍රපටය "සිහින ලොවක්‌" තුළින් ම තමයි.

No comments:

Post a Comment